කද මල්ලේ බඩු අඩු නම් හරිම ඇබැද්දියක් තමා වෙන්නේ...

එදා ගම්බද ගෙයක ප්‍රධාන අංගය වූයේ මඟුල් මඩුව නිර්මාණය කිරීමයි .මේ සඳහා මසකට පමන කලින් පුවක් ගස් හත අටකුත් පොල් පරාල කිහිපයකුත් සපයාගත යුතු වූ හෙයින් ඒවා එකතු කර පිළියෙල කිරීමට ගමේ මඟුල් මඩු පිළිබඳව මනා දක්ෂතාවයක් ඇති කීප දෙනෙක්ද අවශ්‍ය වූහ.තරුණ ගැටවුන් මේ කටයුත්තට ඉදිරිපත් වූයේ අද මෙන් මුදල් ගරා ගැනීමේ අවශ්‍යතා චේතනාවෙන් නොවේ. ගමේ සමගිය හා සාමූහිකත්වය හා ඉදිරිපත් වීම ආදර්ශයක් කරගත් ඔවුහු නොමිලයේ මගුල් මඩුවේ වැඩ කටයුතු කලහ. ලියකම් මල්කම් හා ගෙත්කම් වලින් මඩුව සැරසීමට වෙසක් කඩදාසි ,පූලී කොල හා වාර්නිෂ් කඩදාසි ඇද ආමිනි බෝල එල්ලා,දෙව් විමනක් මෙන් සැරසීම එකිනෙකාගේ දස්කම් විදහා පෑමේ ලකුනක් විය.
                 හොඳ නැකැත් වේලාවක මඩුවේ මුල් කණුව සිටුවීම සිදු විය. එදාට  කැවුම්,  කිරිබත්,කෙසෙල් ගෙඩි ආදියෙන් සංග්‍රහ ලැබූ තරුණයෝ ගමේ වැඩ අරඹති. බොහෝ මඟුල් මඩු සාදන ලද්දේ ගෙය ඉදිරිපිටින්මය. ඊට හේතුව මඩුවේ ඇති සැරසිලි නිසා ගෙයි අඩුපාඩු තිබිනි නම් ඒ සියල්ල වැසීයාමයි.මඟුල මඩුවක් තනා අවසන් කිරීමට සති දෙකක් පමණ ගත වේ.මේ සඳහා දිනපතා තරුණයෝ දහ පහලොස් දෙනෙක් වැඩෙහි යෙදෙති ඔවුනට උදේ දවල් රෑ ආහාර සපයනු මිස කිසිඳු මුදලක් නොදුන්හ.එහෙත් සියල්ලෝම ඉමහත් ප්‍රීතියෙන් මඩුවේ වැඩ නිම කිරීමට වැඩ කර දුන්හ.
                     මඟුල් දිනට දින තුන හතරකට පෙර හොඳ නැකතක් බලා තෙල් වලන් ලිප තැබීම කරති. මෙය ගැහැනුන්ගේ ලොකු ප්‍රීතිමත් අවස්තාවක් මෙන්ම එකිනෙකාගේ හපන්කම් දැනගත හැකි වේලාවක්ද විය.තෙල් වලං ලිප තැබීමෙන් අපේක්ෂා කරනුයේ මඟුල් ගෙදරට අවශ්‍ය සියළුම කැවිලි වරග තනාගැනීමය මෙසේ තනා ගත් කෑම බීම ප්‍රථමයෙන්ම සංඝරත්නයට පූජා කිරීම සිදු කෙරුණි. මේ සඳහා ගමේ හිතවත්,ධනවත් අයෙකුට ආරාධනා කැරේ. එසේ නැති නම් පව්ලේ හිත හොඳ නෑයෙකු තෝරා ගැනේ.
                                  මනමාලයා ප්‍රමුඛ පිරිස පැමිණියේ බක්කි කරත්ත හත අටකිනි. එදා සිරිත අනුව ඔහුන් මනාලියගේ ගෙදර පැමිණෙන විට කඳ මළු රැගෙන ආ යුතුය. සහල්,පොල් ,තෙල් තුනපහ,එළවළු ,කිරිපැණි, ලුණු මිරිස් හා විට කන හුනු ආදී සියළුම කෑම වර්ග මනාලයා විසින් මනාලියගේ දෙමව්පියන්ට ගෙන ආ යුතු විය. මේ කද මල්ලේ යම් කිසි වර්ගයක් අඩුවිණිනම් ඔවුනට ඒ වර්ගය අඩුවෙන් සංග්‍රහ කිරීම මනාලියගේ පක්ෂයේ සිරිත විය. ඒ නිසා බඩු මල්ල සකල සම්පූර්ණයෙන්ම ගෙන ඒමට කවුරුත් මතක තබා ගත්හ.
                  මනාලයාගේ පසින් මනාලියගේ ගෙදර කඩොල්ල ළඟට පැන" තහංචිද තහංචිද තහංචිද" යන වචනය තුන් වරක් කිව යුතුය. ඊට පිළිතුරු වශයෙන් තහංචි නෑ එන්න අවසරයි යන වචනය මනාලියගේ පාර්ශවය විසින් පවසා මනාල පසට නිවසට පැමිණීමට අවසර ලබා දේ.
                 මනාලායා තමා විසින් ගෙනෙන ලද බුලත් හුරුල්ල මනාලියගෙ දෙමව්පියන්ට දී දෙපා වැඳ ගෙට ගොඩ වැඳීමෙන් පසුව නෑයෝ එහි පැමිණෙති. පැමිණි පිරිසෙහි ගණන හරියට දැනගන්නෙ එකිනෙකා වෙනුවෙන් වෙන් වූ බුලත් කොළ ගණන නිසාය. මනාලයා පැමිණෙත්ම ඩෝං පටෝං ඩෝං යන ශබ්ධයෙන් පතුතු කරන ලද රතිඤ්ඤා  වැලෙන් මුළු ගමම මගුල් තුලාවට නෑයන් පැමිණි බව දැන ගනිති. සමහරු මගුල් ගෙදර පාළුව නැති කිරීමට විරිඳු කාරයෙකුද ගෙන එති.
                   එදා සර්පිනාව, තබ්ලාව හා ජපන් මැන්ඩලීනය මඟුල් ගෙදරට සංගීතය සැපයීමට උපයෝගී කර ගත් භාණ්ඩයි. M.H.V හෝ කොළොම්බියා ග්‍රැමෆෝනය එදා මගුල් ගෙදරට සංගීට රසය ගෙන දුනි. අද මේවා වෙනුවට දහස් ගණන් ගෙවා දහස් ගණන් ගෙවා සංගීත කණ්ඩායම් සපයා ගෙන තිබේ. එදා සංගීතය සැපයූයේ ගමේ කවුරුත් දන්නා හඳුනන කිහිප දෙනෙකු විසින් නොමිලයේ . මගුල් ගෙදරට පැමිණි සියළුම අමුත්තන් කෑම් බීම් ආදියෙන් පමණක් නොව වචනයෙන්ද සංග්‍රහ කලේ ලොකු ළෙන්ගතුකමකිනි. අලුත් නෑයන්ගේ හිත් දිනා ගැනීමට හැමදෙනාම වග බලා ගත්හ.
                         

පෝරුවට නැංවීමේ අවස්ථාවේ මගුල ගෙයක පැවති විශේෂ කාරය රැසක් විය. හල්මමිල්ල කබායක් සහ ටුවිඩ් රෙද්දක් ඇඳ හිසේ පනාව ගසා , කබායේ කාසි කැරැල්ලක් බැඳි ආරෝහපරිනාහ ශරීරයකින් හෙබි මනාල මහතා අතගත් කබාකුරුත්තු හැට්ටයක් පැළඳ කාශ්මීර පට රෙද්දක් හැඳ රන් මාලයක් ගෙල බැඳ, කූරක් හිසේ ගසා දෑතට වලලු දමා සුරඟනක මෙන් සෑදී පැහැදී සිටි මනාලිය සෙව්වන්දියක් මෙන් බබලයි. දෙපසේ නෑයන් මැද සෝපානයක් සහිත වේදිකාව උඩ සුදු වියන් බැඳ හාත්පස විචිත්‍ර මාලා කර්ම ලතාකර්මාදියෙනුත් පුවරුව පාවාඩයෙනුත් හතර වටේ ප්‍රදීපයන් රැඳ වූ විකසිත නාලි කේර පුෂපයන් බහා ලූ සිතුවම් ඇඳි පුන්කලසිනුත් සරසා බුලත් හුරුළු ආදී සහල් සහිත පඬුරු විසුරුවා සකස් කල පෝරුව මතැ නව යුවල පෙනී  සිටින්නේ ගෞරවාන්විත ස්වරූපයකිනි.
                                තලතුනා මහතෙකු විසින් කරන ලද මංගලාෂ්ටක ගායනයෙන් පසු මනාලයා විසින් මනාලියට අවශ්‍ය  තැලිපිලි පැළඳවීමෙන් අනතුරුව  ලේ නෑයෙකු වන මාමා විසින් ජෝඩුව වට කොට සුදු රෙදි කඩක් අඳවන ලදී. ඉන් පසු ඔහු විසින් මනාලයාගේ හා මනාලියගේ ඇඟිලි දෙකක් අල්වා පිරිත් හුයෙන් බැඳ අත පැන් වත් කෙරිණි. මෙසේ බඳින ලද හූයෙන් අධ්‍යාත්මික ව දෙදෙනාගේ දෙහදක් අතර බැඳෙන ප්‍රේම බන්ධනය සදාකාලික වන්නේය. අනතුරුව මනාලයා විසින් මනාලියට දෙන ලද බුලත් ඇය ලවා නෑයන් වෙත යොමු කිරීමෙන් පසු පෝරුවෙන් බැස්සවීමේ සිරිත සිදු විය . මේ සඳහා මනාලයාගේ පසින් වැදගත් කෙනෙකු ඉදිරිපත් වී පෝරුවෙන් බැස්සවීම කරනු ලැබේ.
                        මගුල් මේසය පිළිබඳව ද යමක් කිව යුතුව වේ. විචිත්‍ර ලතාමාලා කර්මාදියෙන් සුසැදුණු මගුල් මඩුව සුදු ඇතිරිලු යෙදූ මේසය හා ඒ වටා තබා තිබූ සුදු ඇතිරිල්ලෙන් වට කල පුටු වලින් අලංකාර විය. මේසය මත රතු නිල් කොළ ආදී පාට කළ සහල් හෝ සව් ඇට වලින් විචිත්‍ර මෝස්තර විය. ඒ අතර තබා තිබූ කෑම පිඟන් ඉතා පිරිසිදුව පෙනෙන්න්ට තිබේ .
කෑම වලින් හැමූ සුවඳ කෑම අරුචියෙන් සිටි අයද කෑමට පොළඹවන ලදි. කෑම මේසේද රැකිය යුතු සිරිත් කිහිපයක් විය. මානල යුවල මේසයට වාඩි වන්නේ සියල්ලටම පසුවය. දෙපක්ෂයේම දෙමාපියන් නැමද ජෝඩුව වාඩි වී මනාලයා ගේ අතින් මනාලියට බත් පිඩක් කැවීම සිරිත රැකීමකි. එයින් අදහස් කලේ මනාලයා විසින් මනාලියට ජීවත් වන තෙක්ම ආහාර පාන සපයා දිය යුතු බවයි. පසුව මනාලියද මනාලයාට බත් පිඬක් කැවීමෙන් අදහස් කලේ ඇයද ඔහුට සාදා ආහාර පිස සංග්‍රහ කරන බවටය. සියල්ලන්ම අහාර නිම වූ පසු මගුල් මේසයේදි කථිකයෙකු විසින් කරන ලද සංග්‍රහ වලට ස්තුති කතාවක් කරන ලදී.
        සවස තේ පානයෙන් පසුව සමු ගැනීමේ අවස්තාව එළඹේ. මෙහිදී වියත් නැනවත් බහුශ්‍රැතයන් විසින් ස්තුති පත්‍ර කියවීම ආරම්භ වේ. මෙහිදී මහ හඬින් සංස්කෘත, ප්‍රාකත, හා අපභ්‍රංශ භාෂා වලින් මිශ්‍ර ස්තුති පද කීපයක්ද කියවූ නමුත් ඒවා තේරුම් ගත් අය එම මංගල සභාවේ වූවේ දැයි සැක සහිතය.
              එදා මගුල් ගෙයක සංග්‍රහ භුක්ති විඳ පැමිණි පිරිස ආපසු යෑමේදී සංග්‍රහ කළ අයටද මුදලින් යමක් තම තමන්ට පහසු විදියට දීමේ සිරිතක් වූයෙන් ඒ සඳහා මගුල් ගෙදර ඉස්තෝප්පුවේ කුඩා පෙට්ටියකට දමන මුදල් එකතු කර ගැනීම ද සිදු විය. මේ සඳාහා එකිනෙකා පෙට්ටියට දමන මුදල ලියා ගැනීමද එම තැනැත්තාගේ යුතුකම විය. බොහෝ විට මෙම පෙට්ටිටට සත පනහ රුපියල දෙක පහ ආදි වශයෙන් තමන්ට දෙනු ලබන මුදල සී.ආර් වැනි ලොකු පොතක සටහන් කර ගැනීම සිරිත විය. මේ පොතෙහි එම ගෙදර මුත්තා,අත්තා,තාත්තා,අම්මා සහෝදර සහෝදරියන්ගේ මගුල් තුලා වලට එකිනෙකා දුන් මුදල් සඳහන්ව තිබේ.
                   අනතුරුව මගුල් යුවල කැටුව මනාලයාගේ නිවසට යෑම සඳහා දෙපසින්ම නෑයෝ එක් වි බක්කි කරත්ත දහයකින් පමණ පිටත් වූහ. ව්වාහය ලියාපදිංචි කරන ලද්දේ මේ ගමනේදි ය. එදා අද මෙන් මනාලිය තානායම් කරා ගෙන යෑමේ සිරිතක් නොවු හෙයින් මේ මනල මනාලි දෙපක්ෂයම එකතුව මනාලයාගේ ගෙදරටම මනාලිය කැඳවාගෙන ගිය බව සඳහන් කළ යුතුය.
               
             

Comments

  1. Good artical iyaa .. Keep it up ..

    ReplyDelete
  2. ඇත්තට ම සිරිත් විරිත්වලින් ආදරය, එකමුතුබව, කරුණාව, සෙනෙහස කොච්චරනම් වර්ධනය කරනවද,, ඒ දේවල් ටිකෙන් ටික දුරස් වීමෙන් සිදුවන්නේ ඒ සමගිය, සෙනෙහස බිදීයාම නොවේද ..

    ReplyDelete
  3. වටිනා තොරතුරු ටිකක්....

    ReplyDelete
  4. Hari wadagath thorathuru tikak iyantha... godak dewal gana hoda awabodayak labuna

    ReplyDelete
  5. අතීත විවාහ තොරතුරු අපූරුවට විචිත්‍රවත් කරල තියෙනවා ..බොහොම අගෙයි ඉයා..

    ReplyDelete
  6. වැදගත් ලිපියක් 👌👌👌

    ReplyDelete

Post a Comment

Popular posts from this blog