බුලතේ සුලමුල



                                                      ආදි පටන් එන ජාතික සිරිත්
                                                      අප දීපයේ දනෝ රකිති
                                                      නාගලොවින් ගෙන ආව
                                                      බුලත් අත තාම රටේ පවතී
                                                      අප සිංහල ගෙදර දොරේ
                                                      බත බුලතින් නිතර පිරේ

දිවංගත ගායක තිලකසිරි ප‍්‍රනාන්දු මහතා ගයන ඒ ගීතයේ පද එදා විශේෂයෙන් සිංහල අවුරුදු කාලයේ ඇසෙන්නට විය. ඒත් දැන්නම් ඒ ගීතය ඇසු කාලයක් මට මතක නැත. කෙසේ වෙතත් බුලත් අත, බුලත අවුරුදු කාලයට විශේෂ ය. එහි සුලමුල සෙවීමට දැරූ හුදු උත්සාහයකි මේ.

නාගවල්ලි යනු බුලත්වලට යෙදෙන තවත් නාමයකි. නාගවල්ලි යනුවෙන් නම්කර ඇත්තේ ඒවා නාග ලොවින් ප‍්‍රභවය ලද නිසා යයි ජනශ‍්‍රැතිය අනුව කියැවේ. එහි සුලමුල විමසන්නෙකුට අපූරු තොරතුරු රැසක් හා එක්තරා අපූරු කතාවක් හඳුනා ගත හැකි ය. මේ කතාව ජාතක පොතේ එන සුප‍්‍රකට සස ජාතකය හා සම්බන්ධ ය. සස ජාතකය නොදන්නා කෙනෙක් නැති තරම් ය.

සාවකු තම ඇඟමස් යදියකුගේ වෙස් ගෙන පැමිණි සක් දෙවිඳුන්ට ගිනි මැලයක් ගසා දීම හේතු කොට ගෙන ඒ උදාර කි‍්‍රයාව ලෝ වැස්සනට දැක ගනු සඳහා සාවාගේ රුව සඳේ ඇඳීම මුල් කොට ගෙන කතාව ගෙතී ඇත.

ජාතක පොතේ තුන්සිය දාසය (316) වන ජාතකය ලෙස හඳුන්වා දී ඇති සස ජාතකය කවි කතා කීපයකටත් පෙරදිග සහ අවරදිග ළමා කතා කීපයකටත් වස්තු බීජය වී ඇති බව පෙනේ.

බි‍්‍රතාන්‍යයේ ළමා කතා රචිකාවක සහ ජනශ‍්‍රැති වේදිනියක වශයෙන් ප‍්‍රකට ඉසබෙල් වයට් (Isabel Myatt) මහත්මිය 1962 දී රන්මුවා සහ තවත් ඉන්දීය ජනකතා යන අර්ථය දෙන The golden Stage and others folk tales from India  යනුවෙන් කුඩා පොතක් ලියුවා ය. මෙහි අන්තිම කතාව සසදාව පදනම් කරගෙන ලියන ලද The Hare in the Moon  යනුවෙන් හැඳින්වින.

මේ සියල්ලෙන් පෙනෙන්නේ සසදාව ඉතා වැදගත් කෘතියක් සහ මූලාශ‍්‍රයක් බවයි. බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් කටුගෙය ඇති සිංහල පුස්කොළ පොත් කීපයක් අනුව පෙනෙන්නේ සුප‍්‍රකට ගී කවක් වන සසදාව හැරුණු කොට වෙනත් කවිකතා කීපයක්ම මේ මූලාශ‍්‍රය පදනම් කරගෙන ලියා ඇති බව ය.

සස දාව කවි (ර්‍ණඅ. 6604 - 109) යනු එබඳු එක් කවි කතාවකි. මෙහි පුස්කොළ පිටපත් කීපයක් ම දැක ගත හැකි ය. තවත් එක් කවි කතාවක් හැඳින්වෙන්නේ ‘රන්දෙනේ කවි හෙවත් සසදාවේ කවි’ යනුවෙනි. ‘දළුමුර උපත’ සහ ‘දළුමුර ශාන්තිය’ යන කවි පොත් දෙකත් සසදාව පදනම් කරගෙන ලියන ලද කෘතීන් ය.

‘බුලත් උපතේ කවි’ යනුවෙන් පත්ඉරු හතකට පමණ සීමාවන පුස්කොළ පොතේ එන කවි මෙතෙක් මුද්‍රිත කවි නොවේ යයි සිතමි. (එබඳු කවි පොතක් ඇත්නම් ඒ බව දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි) ‘බුලත් උපතේ කවි සස ජාතකය අර්ථ කථනයකින් යුතුව කවි මඟට හරවන ලද කෘතියක් සේ පෙනේ. තවද ඒ කවිවලින් සමහරක් ‘කැලණි සැහැල්ල’ නමින් හැඳින්වෙන කවි පොතේ ද දිටිය හැකි යයි මතයක් තිබේ. ඒ පිළිබඳව ද හරියාකාර යමක් පැවසීමට නොහැක.

කෙසේ වෙතත් මේ කවි දෙක්හිම කියැවෙන්නේ සස ජාතකයේ එන බෝධිසත්ව හාවාගේ රූපය මුළු ලොවටම පෙනෙන පරිදි සක් දෙවිඳුන් විසින් අඳිනු ලැබුවායින් පසුව, ඒ රූපය ඇඳීමට භාවිතා කරන ලද තෙලිකූර බිමට දැමුවේ ය. එවිට ඒ තෙලිකුර ඇද වැටුණේ නාග ලොවේ නා රජුගේ උකුල මතට ය.

කලබලයට පත් වූ නා රජ ඒ තෙලිකූර අතට ගෙන එතනම බිම සිටවූයේ ය. නාගවල්ලි යනුවෙන් හටගත් පැලෑටිය එසේ සක් රජ විසින් නා ලොවට දමන ලදුව, එතැනින් නා රජුන් විසින් පැල කරන ලද නාගවල්ලි යනුවෙන් ප‍්‍රචලිත විය.

එසේ ම නාග ලොවේ හටගත් නිසා නාගවල්ලි වුවත් බිමින් හටගත් ලිය හෙවත් ‘බූමියෙන් ලත්’ නිසා බුලත් වූ බව ද අප විසින් කියවන ලද ‘රන්දෙනේ කවි’ සහ ‘බුලත් උපතේ කවි’ යන පුස්කොළ පොත්වල මෙසේ දැක්වේ.

කොළත් මලුත් මිස ගෙඩි නැත මෙකපට
දළුත් කොළත් මුල් පොතු එක රසයට
මෙලක් බූමියේ ලත් උනු උපතට
බුලත් කියා නම තැබුවේ මෙලොවට

(පත්ඉරු 6 3 වන කවිය)

එම පත් ඉරුවේ ම දෙවැනි කවිය මෙසේ ය,

නයිගේ වලගවල අට ගත්තේ
නයිගේ කඳ මැද කොළ අටගන්නේ
නාග කඳෙන් වල් කඳ අටගන්නේ
නාගවල්ලි නම ආදැයි දැනගන්නේ

නාග කතාවත්, සස ජාතකයත් සම්මිශි‍්‍රත මේ කතාව කෙතරම් ජන ජීවිතයට සමීප ද කිවහොත් තවමත් සමහරු බුලත් කොළයක් කෑමට ගන්නේ එහි කෙලවර නිය පොත්තෙන් කඩා දැමීමෙන් පසුව ය.

එයට හේතුව එතැන නයි විස ඇතැයි ඔවුන් විශ්වාස කිරීම ය. කැලණියේ හටගත්තේ යයි ඉතිහාසයේ කියැවෙන යක් - නාග දබරය කෙරෙහි ද කිසියම් ප‍්‍රමාණයකින් ඉහතින් සඳහන් කළ කරුණු යොමුවී පවතී.

කලක් මුළුල්ලේ පැවැති නොහොඳ නෝක්කඩුවක් සමථයකට පත්කර ගැනුම සඳහා බුලත් හුරුල්ලක් භාවිතයට ගැනීම සිංහල ජනයාගේ සිරිතක් බව අපි දනිමු. එබැවින් බුලතේ ආනුභාවය කෙතරම් ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ


Comments

  1. Admire ur effort of signifiying our heritage and culture..!!! good luck..!!

    ReplyDelete
  2. අපේකමට ඉඩක් දීපු එක ගැන ගොඩක් සතුටුයි ....

    ReplyDelete
  3. Godak watina thorathuru .... Sthuthiy apiwa danuwath kalata ....

    ReplyDelete
  4. හරිම වටිනව ඒ තොරතුරු ටික.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කද මල්ලේ බඩු අඩු නම් හරිම ඇබැද්දියක් තමා වෙන්නේ...